මහාවංශය

මහාවංශය
පළමු පරිච්චේදය
පාළි මහා වංශය පළමු තැන තබාගෙන එහි එන ඇතැම් දීර්ඝ විස්තර හානිකර නොවන අයුරින් කෙටි කරමින්, ඇතම් කෙටි විස්තර අවශ්‍ය තැනදී දීර්ඝව විස්තර කරමින්, ලංකාව පිළිබඳව පැරණි වූත් නවීන වූත් අවශේෂ ඉතිහාස ග්‍රන්ථ, පුරාවස්තු, චරිත කථා, ආදිය ආශ්‍රයෙන් මේ මහා වංශය ලියනු ලැබේ.
දීපංකර බුදුරජාණන් වහන්සේ පාමුලදී සම්බුද්ධත්වය පිණිස නියත විවරණ ලැබූ අපගේ සම්බුදුරජාණන් වහන්සේ එතැන් පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ ලොව පහළ වූ කොණ්ඩඤ්ඤ, මංගල, සුමන ආදී අට විසි බුදුරජාණන් වහන්සේලා වෙතින් “මේ තෙමේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අනාගතයේ ගෞතම නමින් බුද්ධත්වයට පැමිණ සත්වයන් සසර දුකින් එතෙර කරන්නේ යැ”යි නියත විවරණ ලැබ අවසානයෙදී සිද්ධාර්ථ ගෞතම නමින් ලොව පහළ වී මගද ර‍ට  උ‍රුවෙල් දනව්වෙහි දී වෙසක් පුන් පොහෝ දා උතුම් වූ සම්බුද්ධත්වයට පත් වුන සේක.
විමුක්ති සැප විදිමින් බෝ මැඩ අසලම සත් සතියක් ගත කළ බුදුරජාණන් වහන්සේ බරණැසට වැඩ පස්වග මහණුන්ට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. වස් කාලය තුළ එහිම වැඩ සිටි උන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හැට නමක් අරහත්වයට පත් කොට ධර්ම දේශනා කරණු පිණිස උන්වහන්සේලා පිටත් කර යැවූ සේක. භද්දවග්ගිය නම් කුමාර වරුන් තිස් දෙනෙක් සෝවන් පලයට පැමිණවූ සේක. උරුවෙල් කාශ්‍යප ඇදී ජටිලයන් දහස දමනය කරණු සඳහා ඔවුන්ගේ නුවන මෝරන තෙක් බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ වාසය කළ සේක. මේ අතර උරුවෙල් කාශ්‍යප නම් ජටිලයාගේ මහා යාගයට කාලය එළඹියේය. “යාග කාලය තුල ශ්‍රමණ ගෞතමයෝ මෙහි නොපැමිනියොත් හොද යැ”යි සිතූ උරුවෙල කාශ්‍යපගේ අදහස දැන ගත් බුදුරජාණන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පින්ඩපාතය ගෙන අනවතප්ත විල අසලදී වළඳා බුද්ධත්වයෙන් නව වන මසයේ දී දුරුතු පුර පසලොස්වක පොහෝ දා ලක්දිවට වැඩම කළ සේක.
මහියංගනයට වැඩීම
ලක්දිව ස්වකීය සාසනය පිහිටා බැබලෙන තැනක් ය යි දුටු බුදුරජාණන් වහන්සේ එහි පිරී සිටි යක්ෂයන් යැ යි දුටු සේක. දිවයිනේ මධ්‍ය භාගයේ මහවැ‍ලි ගං ඉවුරෙයි තුන් යොදුනක් දිග හා තුන් යෙදුනක් පළල ඇති මහානාග වන නම් උයනෙහි සමිති භූමියෙහි පැවැ‍ත්වෙන මහානිසාචර සමාගමයෙක් විය.      
යක්ෂයන්ගේ මේ මහා රැස්වීම පවත්වන දිනයෙහි එහි වැ‍ඩි බුදුරජාණන් වහන්සේ දැනට මහියංගන චෛත්‍යය පිහිටා තිබෙන ස්ථානයේ අයසෙහි වැ‍ඩ සිට වර්ෂා, වාත, අන්ධකාර ආදිය මවා යක්ෂයන් භිය පත්කළ සේක. භයට පත්වූ යක්ෂයෝ අහසෙහි වැ‍ඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ ගෙන් අභය ඉල්ලූහ. තොපට අභය දෙන්නෙමැයි වදාළ බුදුරජාණන් වහන්සේ “තෙපි සමගියෙන් මට හිදින්ට තැනක් දෙන්නහුද?යි යක්ෂයන් ගෙන් විචාල සෙක. “ඔබ වහන්සේ ට මුළු ලක්දිව දෙන්නෙමු! අපට අභය දුන මැනවයි යක්ෂයෝ එක හඩින් කියා සිටියහ.
බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ගේ භය දුරුකර. ඔවුන් දුන් භූමි භාගයෙහි පත්කඩ අතුරා වැ‍ඩ හිඳ. එය ගිනිගෙන දිලිසෙන්නක් කර හාත්පසින් විශාල කළ සේක. ගිණි රස්ණයෙන් තැවෙන්නට වූ යක්ෂයෝ මුහුදු වෙරළ දක්වා ඈත් වූහ. බුදුරජාණන් වහන්සේ ගිරි දිවයින මෙහි ලඟා කර යක්ෂයන් එහි වන් පසු එය තිබුන තැනම තිබූ සේක. බුදුරජාණන් වහන්සේ පත්කඩ හැකුළු පසු දෙවියන් එහි රැස්වූහ. උන්වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක.
 සමන්තකූට පර්වත වාසී මහාසුමන දිව්‍යරාජයා ද එහි රැස්වූ දෙවියන් අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත් ඒ දෙව් රජ තෙමේ බුදුරජාණන් වහන්සේ ගෙන් පූජාභාන්ඩ කිසිවක් ඉල්ලා සිටියේ ය. උන්වහන්සේ ස්වකීය හිස පිරිමැද කේශධාතු මිටක් පමණ ඔහුට දුන්සේක. රත්රන් කරඩුවකින් එය පිළිගත් දෙව් රජ තෙමේ බුදුරජාණන් වහන්සේ වැ‍ඩ සිටි තැන සත් රියන් උස හා අවට එක් විසි රියන් ඇති රුවන් රැසක තබා එය ඉන්ද්‍රනීල ‍චෛත්‍යය කින් වැ‍සීය.
මහා සුමන දිව්‍ය රාජයා විසින් කරන ලද පළමුවන මහියංගන චෛත්‍යය මෙ සේ පවතින අතර. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය සරභූ  නම් මහත් ඍධි ඇති රහතන් වහන්සේ, චිතකයෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවාස්ථ ධාතුව රැගෙන ලක්දිවට අවුත් එම චෛත්‍යයෙහි තබා එය වසා මෙදොවර්ණ පාෂාණයෙන් දොළොස් රියන් උස චෛත්‍යයක් කරවූ සේක.
ආශ්චර්යමත්  වූ මේ චෛත්‍යය දුටු දෙවන පෑතිස් රජුගේ සහෝදර උධචූළාභය කුමාරයා එය වස්වා තිස් රියන් උස චෛත්‍යයක් කරවී ය. ද්‍රවිඩයන් වනසා සිරිලක එක් සේසත් කර බුද්ධ ශාසනය බැබළවූ දුටු ගැමුණු  මහ රජතුමා ඒ තිස් රියන් දාගැබ වස්වා අසූ රියන් කඤ්චුක චෛත්‍යයක් කරවී ය. මේ වනාහී මහියංගන චෛත්‍යය පහළ වූ පරිදි හා විශාල වූ පරිදිත් ය.
 බුදු රජාණන් වහන්සේ මහියංගන භූමියෙ දී යක්ෂ දමනයෙන් මේ දිවයින මනුෂ්‍යන් හට යෝග්‍ය කොට උරුවෙල් දනවුවටම වැඩි සේක.
නාග දීපයට වැ‍ඩීම
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වන වර්ෂයෙහි ජේතවනාරාමයේ වැ‍ඩ වසන කල්හි මහෝදර, චූලෝදර යන මාමා හා බෑණා වන නාග රාජයන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා සටනක් ඇති විය. උන් වහන්සේ නාගයන් හට අනුකම්පා කර ඔවුන් සමාදාන කරනු සඳහා බක් මස අමාවක් පොහෝ දින උදේ කාලයේම නාග දීපයට වැ‍ඩම කළ සේක.
යුද්ධාරම්භ සමයෙහි මහා බල සම්පන්න මහෝදර නාග රාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනෙහි රජකම් කරමින් සිටියේ  ය. ඔවුන්ගේ සහෝදරිය වන කණ්හා නමැත්තිය වඩමන්(වඩ්ඩමාන) නම් පර්වතයෙහි නා රජ හට පාවා දෙනු ලැබී ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැ‍සි මේ නාගයෝද මුහුදු වැ‍සි නාගයන් මෙන් ම මහා බලසම්පන්නයෝ වූහ. චූලෝදර ගේ සීයා (ආච්චි සේ දැක්වෙන ලෙස බුද්ධදත්ත හිමියෝ ශුද්ධ කරති) කාලක්‍රියා කරන විට තමා සතුව තිබෙන ඉතා අගනා මාණික්‍ය පර්යංකය පුතාට නොදී දියනිය හට (චූලෝදරගේ මවට) දුන්නේ ය. මාමා හා බෑණා අතර යුද්ධය සිටියේ මේ මිණි පළඟ නිසා ය.
බුදු රජාණන් වහන්සේ නාග දීපයට වඩිනු සඳහා පිටත්වී ජේතවන දොර කොටුවේ කිරිපලු රුකෙහි සිටි පසුව එයින් අස්ව සිට සමිධි සුමන නම් දෙවියාද කැඳවූ සේක. ඒ දෙව් රජ තෙමේ තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා බුදුජාණන් වහන්සේගේ අවසරය ඇතිව එය උන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලාගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාග දීපයට පැමිණියේ ය.
නාග දීපය මත අහසෙහි වැ‍ඩ සිටි බුදුරජාණන් වහන්සේ එහි යුද බිමට වැ‍ද සිටි නාගයන් භයගන්වනු සඳහා අන්ධකාරයක් මැවූ සේක. නාගයින් භයින් පෙලී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ දැක්වූ සේක. නාගයෝ බුදුරජාණන් වහන්සේ දැක අස්වැ‍සුම් ලැබ උන් වහන්සේගේ පා වැ‍න්දහ. ලෝකනායකයන් වහන්සේ ඔවුන් සමගි කරන ධර්මයක් දේශනා කළ සේක. එයින්පසු යුදවැ‍ද සැටි දෙදෙන සතුටට පත්ව යුද්ධයට හේතුවූ මිණි පළඟ උන්වහන්සේට පූජා කළහ. අහසින් බැස එහි වැ‍ඩහුන් බුදුරජාණන් වහන්සේ නාගයන් පිළිගැන්වූ දිව්‍ය ආහාරපානයන් වළඳ ගොඩ, දිය වාසය කරන අසූ කෝටියක් නාගයන් තිසරණ සහිත පන්චසීලයෙහි පිහිටවූ සේක.
තම බෑණාට (මහෝදරට) උදව් පිණිස සටන් බිමට ගොස් සිටි කැලණියේ මනිඅක්ඛික නම් නාගරාජයා ද මේ පිරිස අතර විය. බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැ‍ඩි ගමනේදී සරණ සීලයෙහි පිහිටා සිටි මේ නා රජ තෙමේ මෙ දින උනවහන්සෙට ලංව ආරාධනයක් කළේ ය. ස්වාමීනි. මේ වනාහී ඔබ වහන්සේ අපට කළ මහත් අනුකම්පාවකි ඔබ වහන්සේ මෙහි නොවැ‍ඩිය සේක් නම් අපි හැම අලු වී යම්හ මා කෙරෙහිද ඔබ වහන්සේගේ විශෙෂ අනුකම්පාව වේවා. නැවත ගමනක දී මාගේ වාස භූමියට(කැලණියට) වඩින සේකවා යනු ඒ ආරාධනය යි. තුෂණිම්භාවයෙන් එය පිළිගත් බුදුරජාණන් වහන්සේ පාරිබෝගික චෛත්‍යය වශයෙන් නමස්කාර කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට දී ජේතවනාරාමයට වැ‍ඩි සේක.
කැලණියට වැ‍ඩීම
නාග දීපයට වැ‍ඩීමෙන් අවුරුදු තුනකට පසු මණිඅක්ඛික නා රජ තෙමේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ සංඝයා සමග කැලණියට වඩින ලෙස ආරාධනා කළේ ය. පසු දින වෙසක් දවස විය. එදින දිවා කාලය ආරෝචනය කළ කල්හි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී ම සඟල සිවුර පොරවා පාත්‍රය අතින් ගෙන පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන. බුද්ධත්වයෙන් අට වන අවුරුද්දෙහි වෙසක් පුර පසළොස්වක පොහෝ දා මණිඅක්ඛික නා රජුගේ වාස භවනයට වැ‍ඩි සේක.
නා රජු විසින් දැනට කැළණියේ චෛත්‍යය පිහිටා තිබෙන ස්ථානයෙහි කරවන ලද රත්න මණ්ඩපයෙහි වූ මාහැගි මාණික්‍ය පර්යංකයෙහි බුදුරජාණන් වහන්සේ වැ‍ඩහුන් කල්හි නා රජ තෙමේ ප්‍රීතියෙන් පිනා ගිය සිත් ඇතිව ප්‍රණීත වූ දිව්‍ය ආහාර පාණයෙන් සංඝයා සහිත උන්වහන්සේ වැ‍ළැඳ වීය. දන් වළදා අවසානයෙ හි පිරිවර සහිත නා රජ හට ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ අහසට නැගී වැ‍ඩ සමන්තකූට පර්වත මස්තකයෙහි වාම ශ්‍රී පාද ලාංචනය පිහිටුවා සංඝයා සමග ඒ පර්වත පාදයෙහි දිවා විහරණය කර ඉක්බිති දිගාවාපියට වැ‍ඩි සේක
දීගවාපී චෛත්‍යය පිහිටන තන්හි සමාධියට සම වැ‍දී වැ‍ඩ හුන් උන්වහන්සේ ඒ තැනින් මහමෙව්නා උයන් භූමියට වැ‍ඩ ශ්‍රී මහා බෝදීන් වහන්සේ, රුවන් වැ‍ලි මහා සෑය, ථූපාරාම චෛත්‍යය, ශෙල චෛත්‍යය පිහිටන ස්ථානයන්හි සමාධියෙන් වැ‍ඩ හිඳ අවසානයේ තමන් වහන්සේ වෙත පැමිණි දිව්‍ය සමූහයාට ද ධර්ම දේශනා කර ජේතවනාරාමයට වැ‍ඩි සේක.
මෙසේ ලෝකයාට ප්‍රදීපයක් වැ‍නි වූ බුදුරජාණන් වහන්සේ අනාගත ලාංකික ජනතාවගේ අර්ථ සිද්ධිය ද එ කල ලක්දිව විසූ දේව. නාග ආදී පිරිසගේ යහපතද සලකා තුන්වරක්ම ලක්දිවට වැ‍ඩි සේක. මෙයින් සම්භාවනීයත්වයට පත් ලංකාව ධර්මද්වීපය වශයෙන් සකල ලෝක වාසීන්ගේම ගෞරවයට පාත්‍ර විය.




මහාසම්මත වංශය
දෙවන පරිච්ඡේදය
 (ලඟදීම බලාපොරොත්තු වන්න)





Share/Bookmark